අමරගෙදර ශ‍්‍රී බෝධිමළු විහාරය

බුලත්සිංහල, බෝතලේගම, දෙල්මෑල්ල යන ගම්මුලාදෑනී වසම් තූන පුළුල් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බ්හි වූ අමරගෙදර ග‍්‍රාමයේ රාජ්‍ය වර්ෂ 1949 දී පමණ එවක බුලත්සිංහල ශ‍්‍රී දේවමිත්තාරාමයේ විහාරාධිපතිව වැඩ සිටි පූජ්‍ය ඉඹුලේගොඩ සද්ධාතිස්ස නාහිමිපාණන් විසින් බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් අමරගෙදර ශ‍්‍රී බෝධිමළු විහාරය ආරම්භ කළහ. උන්වහන්සේ විසින් ඉරුදිනයන්හි සවස් වරුවේ දහම් පාසලක්ද පවත්වා ගම්වැසියන් ආගම කෙරෙහි නැඹුරු කරවූහ. උන්වහන්සේගෙන් පසුව පූජ්‍ය බුලත්සිංහල නන්දාරාම නාහිමි අමරගෙදර ශ‍්‍රී බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි සේක. වර්තමානයේ මෙහි විහාරාධිපති ධූරය දරන්නේ පූජ්‍ය අමරගෙදර නන්දදේව නාහිමිපාණන් විසිනි.

දැනට මෙම විහාරස්ථානය විහාර මන්දිරය, බෝධිඝරය, ආවාස මන්දිරය, ධර්මශාලාව ආදී ගොඩනැගිලි වලින් සමන්විත වේ. බුලත්සිංහල ප‍්‍රදේශයේ කැපී පෙනෙන දහම් පාසල් අතූරෙන් එකක් වන අමරගෙදර සද්ධාතිස්ස දහම් පාසල මෙහි පවත්වාගෙන යනු ලැබේ. මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය අමරගෙදර නන්දදේව නාහිමිපාණන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන පූජ්‍ය අමරගෙදර දේවානන්ද හිමි සහ පූජ්‍ය අමරගෙදර ලංකානන්ද හිමි වැඩවාසය කරති. පන්සලේ මෙන්ම අමරගෙදර ග‍්‍රාමයේද දියුණුව පිණිස පවතින සද්ධාතිස්ස සංවර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව, සංඝමිත්තා කුලඟන සමිතිය, නන්දදේව නාහිමි පදනම වැනි විහාරස්ථානය අනුබද්ධ සමිති සමාගම් මගින් ජාතික සමාජීය සහ ආර්ථික වශයෙන් ඉටුවන මෙහෙය අගනේය. තවද විහාරස්ථානය මූලික කරගෙන පවතින සිරි සැදැහැතිස් පුස්තකාලය දැනුම බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. ප‍්‍රදේශයේ දරු දැරියන්ගේ සෞන්දර්යය කූසලතා ඔප්නැංවීමට නන්දදේව නාහිමි පදනම මගින් පවත්වාගෙන යනු ලබන සංස්කෘතික මධ්‍යස්ථානය, සක් හඬ ගුවන් විදුලිය, සමඟි ළමා මණ්ඩපය, සමඟි පුංචි පැංචි සමිති මගින් ඉටුවන මෙහෙයද ඉතා අගනේය. සමඟි යෞවන සමාජය ප්‍රදේශයේ කීර්තිය පතුරවාගෙන ගමට රටට වැඩඩායී මෙහෙයක් ඉටු කරනු ලබයි.